"අනේ මේ දරු පැටියගෙ බඩගිනි නිමා ගන්න උපකාරයක් කරලා යන්න නෝනා මහත්තයලා"
පිට කොටුවේ සිට කිරිබත්ගොඩට පැමිණීමට බසයට ගොඩ වූ මා දුටුවේ අවුරුද්දක් පමණ වයසැති දරුවකුද සමග සිගමන් යදින තරුණියකි.
බසයේ වූ හිස් අසුනක වාඩි වූ මම ඇය දෙස බැලුවේ අනුකම්පාවෙනි.
හදා ගන්න බැරුව අතරමග ළමයි දාලා යන අම්මලා අතරෙ,බඩට ආව දරුවා මරලා දාන්න තරම් කුහක මිනිස්සු අතරේ හිඟා කාල හරි ළමයි ජීවත් කරන අම්මලත් ඉන්නවා....මට හිතුනේ එලෙසය...මටත් නොදැනීම මගේ දෙනෙතින් කදුලු වැටුනේ අහිමිව ගිය මවු සෙනෙහස නැවත විදින්නට ඇති වූ බලවත් ආශාවකින් සිත තවමත් පීඩා විදින නිසාවෙනි...
"බොරුවට ළමයා පෙන්නලා සල්ලි හොයනවා...හොයන සල්ලි වලින් කුඩු ගහනවා...පේන් නැද්ද ගෑණිගෙ ඇස් දෙකත් රතු වෙලා ....ඉන්නෙ මත් වුණා වගේ"
මගේ සිතුවිලි බිදී ගියේ බසයෙන් නැගුණ හඩිනි...නිරායාසයෙන්ම මගේ දෙනෙත් යොමු වූයේ පෙර කී කාන්තාවගේ දෙනෙත් වෙතටය..සැබවින්ම ඒවා රතු පැහැ වී තිබුණි.. විඩාවෙන් අවපැහැයට ලක්වූ මුහුණ අදුරුය.ඇය මත් වී සිටියාද නැද්දැයි තවමත් මට සිතාගත නොහැකිය...නමුත් කුමකින් හෝ ඈ සිටියේ හෙම්බත් වී යැයි මට සිතේ...එක්කෝ ඈ ජීවිතේ ගැට ගසා ගන්නට දරුවා රැක ගන්නට නොවිදිනා දුක් විදින්නියක විය හැකිය..එසේත් නැතිනම් මුසා පවසමින් මුදල් ඉපයීමේ උපායක් ලෙස දරුවා යොදා ගන්නා එකියකද විය හැකිය..ඇයගේ ජීවිතයේ යතාර්ථයක් සොයා ගැනීම එතරම්ම අසීරු යැයි මොහොතකට මට සිතුණි...
කෙසේ හෝ ඇයත් ගැහැණියකි.බොරු මවා පෑමක් ඇය තුළ නොතිබිණි නම් වචනයේ පරිසමප්ත අරුතින්ම තම දරුවන් රැකීමට වෙහෙස ගන්නා ඇයත් මවකි.සිගමන ඇයට කෙසේ උරුම වූවක්ද යන්න වෙනමම සිතා බැලිය යුතු කාරණාවකි.අකීකරුකම දිලිදු කම හෝ තවත් බොහෝ කාරණාවන් ඇගේ කතාව පිටුපස තිබෙන්නට හැකිය.
විශ්වයේ ජීවය රැදී පවතින්නේ හිරුගේ කිරණින් හා මවගේ කිරි වලින් යැයි අපි අසා ඇත්තෙමු.හිරුගේ කිරණ මෙන්ම මවගේ කිරිද දැන් දැන් පෘථිවි වාසීන්ට විස වී යන සෙයකි.මා එසේ සටහන් කළේ කිසිවිටකත් උතුම් මවු පදවියට නින්දා කිරීමට නොවේ..තමාගේ ලෙයින්ම උපන් දරුවන් මහ මග දමා යන,උපන් විගස විකුණා දමන,මරා දමන සිද්දීන් මෑත කාලයේ පුවත් මැවුවේ තරඟයට මෙනි. හේතු කාරණා කුමක් වුවත් එවැනි සිදුවීම් ඇතැම් අවස්තාවල සමස්ත මවු පදවියම නින්දාවට ලක් කළ බව නොරහසකි.
කෙසේ වෙතත් මේ සටහන මාතෲත්වය මවු සෙනෙහස හා දරු පරපුර සම්බන්දයෙනි..
දස මස කුස හෙවූ දරුවා මෙලොවට බිහි කරන කාන්තාව මව ලෙස සරලව අරුත් ගැන්වුවද කිසි විටකත් ඇගේ සෙනෙහස කැප කිරීම සරලව වචනවලට පෙරලිය නොහැකි තරම් අනර්ඝ ය.තම සිරුරේ දුවන රුධිරය කිරි බවට හැරෙන්නට තරම් අම්මා තුල උපදින්නාවූ සෙනෙහස අතිමහත්ය ..බිලින්දා වැඩිහිටියකු වන තෙක්...ඉන් අනතුරුවත් මවගෙන් ලැබෙන සවිය කිසිවකට මිල කළ නොහැකිය..ඇය එතරම්ම වටිනා සම්පතකි.
දස මස කුස හොවා දරුවන් ජනිත කරමින් මවු පදවි දරන්නන් සිටින සමාජයේම...එම වාසනාව අහිමිව ගිය ස්ත්රීන්ද නැතිවාම නොවේ..නමුත් ඔවුන්ද බොහෝ දරුවන්ට මවු වන අවස්තාවල අඩුවක් නැත.හුණුවටයේ කතාවේ ගෲෂා මෙන් වෙමින් වැදූ මව මෙන්ම ඇතැම් අවස්තාවල ඊටත් වඩා වැඩි සෙනෙහසක් දරුවන්ට දීමට හැදූ මවටත් හැකියාවක් ඇත...කුස තුල නොදැරුවත් දරු පෙමට රුධිරය කිරට හැරවූ කාන්තාවන් සමාජයේ නැතුවාම නොවේ.
නිවසේ දෙවියන් මව යැයි පැවසීමේ කිසිදු වරදක් නැත..උරුලෑවට තම පැටියා මැණිකක් වන්නේ යම් සේද මවටත් මෙලොව ඇති වටිනාම සම්පත තම දරුවන් ය.එවන් මවුවරුන් ලද දරුවන් සැබවින්ම වාසනාවන්තය .එහි කිසිදු තර්කයක් නොමැත..
නමුත් වත්මන් සමාජ වෙනස තුළ මවු සෙනෙහසත් ඇතැම් අවස්තාවල වෙනස්ව ගොසින්දැයි සිතෙයි ..දස මස කුස දරා බිහි වන දරුවාට මව වන්නේ බොහෝ විට මෙහෙකාරියයි..සෙනෙහසින් කිරි වූ රුධිරය පියයුරු මතම ගල් ගැහෙද්දී දරුවාගේ කුස පිරවෙන්නේ පිටි කළ කිරෙනි..නැලවිලි ගී වෙනුවට ළමා මනස අරක් ගන්නේ තාක්ෂණික සංගීතයයි.. මවගේ තුරුල සොයන දරුවාට තුරුලට උණුසුම ගෙනෙන්නේ නේක මිල අධික සුරතල් සෙල්ලම් උපකරණයි.දරුවන්ට දිය යුත්තේ හොදම දේ මිස මිල අධික දේ නොවේ..හොදම අම්මා වන්නේ සුපිරි සැප පහසුව දරුවාට ලබා දෙන්නියද නොවේ..පොලොවේ පය ගසන්නට හැකි...අන් මතයන්ට ගරු කළ හැකි කළගුණ සලකන දරුවකු සැකසීම මවක් විසින් කළ යුතු කාර්යන් අතර වේ.
වර්තමානයේ බොහෝ දරුවන්ගේ යහ ගුණ දම් මියැදී යාමට ප්රධාන අඩිතාලම වැටෙන්නේ පවුල තුළිනි..එමෙන්ම ඉතා හොද මවු පියන් සිටින දරුවන්ට නිසි මග පෙන්වූ මවු පියන් සිටින පවුල් තුළ සරලවම පැවසුවහොත් නහට අහන්නැති දරුවන්ද සිටින අවස්තා නැතුවාම නොවේ.සුපිරි ජීවිත ගෙවන ඇතැම් දරුවන්ගේ දෙමාපියන් මහලු නිවාස තුලය.ඇතැමුන් මහමගය...මෙවන් පසුබිමකම තම මවුන් පියන් ඇස් දෙක මෙන් බලා ගන්නා දරුවන්ද නැතිවාම නොවේ...
මේ සටහන විශ්ව ගීතයට තනුව වූ මවු සෙනෙහසට උපහාර පුදන්නට පමණක්ම නොවේ..මවු සෙනෙහසේ අරුත නිසි ලෙස වටහා නොගත් දරුවන්ගේ හා ඇතැම් මවු වරුන්ගේ නෙත් තුල වූ තිමිර පටලයන් බිද දැමීම උදෙසාය..දස මස කුස දැරූ මවුන් නමින් දිවුරමින් ....රක්ත වර්ණ ලේ කිරි ලෙස උරා බිවු මුවෙන්ම මත් වතුරට ලොල් වූවන් ........තම දරුවන් මරා දමමින් සුර සැප විදින්නන් නැතුවාම නොවේ...
කණගාටුවෙන් වුවත් පැවසිය යුතු තවත් කාරණාවකි ..තවකෙකුගේ ජීවිත වනසමින් තම ජීව්ත රැක ගන්නා බොහෝ දෙනෙකුට අනුබල දෙන මවුවරුද නැතුවාම නොවේ."අම්මා එදා මේ දේ වැරදි කියලා මට කිවුවනම් "යනුවෙන් නුදුරු දිනෙක දරුවන් පවසනවා අසන්නට කිසිවකුත් කැමති නොවනු ඇත.
එසේනම් කළ යුතු බොහෝ දේ ඇත..දරුවන් වශයෙන් මවු පියන් වෙනුවෙන්ද....මවු පියන් වශයෙන් දරුවන් වෙනුවෙන්ද කළ යුතු දෑ බොහෝය.එම යුතුකම් වගකීම් හා වගවීම් නිසි අයුරින් වූ තැන ගැටලු අවම වනු ඇත..
දරුවන් වෙනුවෙන් මහ මගට පවා බසින ...සිගමන් යදින ...සුවහසක් සෙනෙහස දරුවන්ට පුදන මවුනි ඔබ ගුණ කද කිසිදා මැකී නොයනු ඇත..
මාතෲත්වයට තවමත් නිසි අරුත් දෙන්නට නොහැකි වූ අයෙක් වේද උත්සාහ ගත යුත්තේ කිසිදු හේතුවක් මත මාතෲත්වය හෑල්ලු නොකර සිටීමටය.දරුවන් මත මෙන්ම එම වගකීම මවුවරුන් මතද පැටවී ඇති බව අමතක නොකළ යුතුය.මවගේ කිරි වල ශක්තියෙන් විශ්වය සුරැකෙන්නේ එවිටය...
වාශු
Monday, July 8, 2019
Subscribe to:
Post Comments (Atom)
දැදිගම සූතිගර වෙහෙර
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්රික්කයේ වරකාපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...
-
දෙවැනි බුදුන් ලෙස ලෝක පූජිත ගෙදර බුදුන් අම්මා ය. දරා දස මසක් දරුවන් මෙළොවට ජනිත කිරීම පමණක් නොව දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා තමන්ගේ ජීවිත...
-
පැතුම් දල්වා සුසුම් විළිලා වෑයමෙන් වැදු ආදර අන්දරයේ වැරදි කාරිය මම වරද මාගේ ගැහැණුකම නිදොස් කොට නිදහස් කළ කතාන්දරයේ නිවැරදි කරු නු...

No comments:
Post a Comment