අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ හදවත් තුළිනුයි දුක් ගී ඇසුනේ ඒ මිනිසුන්ගේ කදුලැලි වෙනුවෙන් මොන රජ මැතිදුද පුටුවෙන් බැස්සේ ........... "මට නම් බං දැන් ජීවිතේ එපා වෙලා" "අතේ සල්ලිත් නෑ" "තාත්තටත් අසනීපයි" මිතුරියත් මමත් සරසවියට යන තුරුම කතා කළේ එවැනි දේය.සැබෑය.. ආර්ථිකය පමණක් නොව බොහෝ දෙයින් ජීවිතේ වින්දාට වඩා සිදු කළේ විදවපු එක වීම මුසාවක් නොවේ.. "ප්‍රශ්න අපිටමයි කිවුවට බං බලාන යද්දි හැමෝටම ප්‍රශ්න..."මිතුරිය පවසන දේද සත්‍යයකි . "ජීවත් වෙනවා කියන්නෙත් ප්‍රශ්න වලට උත්තර හොයන එකම තමයි ඉතින්...."මට සිතුණේ එලෙසය.. සරසවි බිමෙහි වූ බංකුවක් වෙත ගිය අපි අසුන් ගත්තේ මද අවුව පවා පීඩාවක් ලෙස දැනෙද්දීය....... "මෙතෙන්ට තව ටිකකින් ගිනි ගහන අවුව...අපට මේ වැඩේ කරගන්න බැරි වෙයි" මාත් මිතුරියත් අසුන් ගත්තේ එසේ සිතමිනි. අඩ හෝරාවක් පමණ ගෙවෙන්නට ඇත. "මේ අව්ව මදිවට දූවිල්ල" මමත් මිතුරියත් දූවිලි මග ඔස්සේ ආපසු හැරුණෙමි....දුටු දසුනින් දෙනෙතට කදුලු උනන්නට එතරම් කාලයක් ගත වූයේ නැත. "පවු බං...........ගෙදරට වෙලා සැනසීමෙ ඉන්න ඕන කාලෙ දුක් විදිනව.බලපං ගොඩක් වයසයි ඒ මනුස්සයට" සැබවින්ම ඒ ගත තිබුණේ මලානිකවය.ඔහුගේ වත වැහැරී ගියේ කර්කෂ ජීවිතයට ඔරොත්තු දෙන්නටද එසේත් නොමැතිනම් නිසි වයසටමද මා දන්නේ නැත.නමුත් වයසටත් වඩා දුක් විදින සගවාගත් දුකකින් දිවි ගෙවන මෙවැනි ජීවිත අස්සේ ඇතැමුන්ට සතපහකට මායිම් නොවන, එහෙත් හදවත් කම්පා කරවන, නොකී කතාවන් සැගවී ඇති බව නම් නොරහසකි. "ඒ මිනිස්සු කරන රස්සාවට පඩි හම්බෙනවා" "පතාගෙන ආව විදිය තමයි" මෙලෙස සිතන්නන් ඔබ අතරද සිටිනවා විය හැකිය .දූවිල්ල... ඉර එලිය මහා පීඩාවක් සේ දකින්නවුන් අතර .....ටයි කෝට් ,පාටි ඩ්‍රෙස් සොයා සුපිරි තැන් පීරන්නවුන් අතර අතට පයට මෙහෙකරුවන් සිටින සුකෝපබෝගී ජීවිත ගෙවන්නවුන් අතර පයටම ඇලුණු රබර් සෙරෙප්පු දෙක. දුර්වර්ණ සම පමණක් නොව විඩාබර ගතටද සැප පහසු ජිවිතය පිළිබද ඇල්මක් නොමැතියැයි කෙසේ සිතන්නද ..... දුප්පත්කම අසරණ කම තනිකම ජීවිතයේ මං පෙත් වෙනස් කළා විය හැකිය ..ඇතැම් විට දරුවන්ට සුර සැප දී මොහු දුක් විදිනවා හෝ දරු පවුල රකින්නට වෙහෙසෙනවා විය හැකිය.ඔහුත් සමගම තවත් කොතරම් පිරිසක් එදා වේල පිරිමහන්නට වෙහෙසෙනවා නොවේද...සිතන්නට බොහෝ දෑ තිබේ ******************************************** ජීවිතේ ප්‍රශ්න ප්‍රශ්න කියමින් සිටින්නවුන්ට මේ ජීවිත තුල තිබෙන ප්‍රශ්න තිබුණානම්........මිල මුදල් යහමින් උතුරද්දීත් ධනයට බලයට තලු මරන මිනිසුන් එක මොහොතකට මේ දිවියට වැටුණානම්......හයි ක්ලාස් සැපයට මොහොතකට මේ වේදනාව දැනුනානම්...කොතරම් දේ වෙනස් වේවිද.... දුක හදුනන දුප්පතාට හිතවතෙකු වන සමාජ ප්‍රේමීන් පදුරක පය වැදුනත් බුරුතු පිටින් විසි වන රටක තවමත් දුකම උරුම වූවන් මොන තරම් සිටිනවා ඇත්ද.... රටෙහි එක කොනක සුර විමන් මැවෙද්දී තවත් කොනක අපා දුක් විදින මිනිසුන්....අතැමුන්ට සුබ මූහුර්ත තවකෙකුට රාහු කාලය.කෙනෙක්ට මගුල් බෙර තවකෙකුට මල බෙරය.වෙනසේ අසිරිය සැබවින්ම අසිරිමත් ය... කුමන මති මතාන්තර දැරුවද මූලිකව විය යුත්තේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගන්නට මිනිසාට අවකාශ සලසා දීමය...තට්ටු මන්දිර සුකෝපබෝගි ජීවිත නැතුවාටම මිනිසුන් සියල්ලටම සතුට ජීවිතේට අවැසිය. අතුගාන කුණු අදින මිනිසුන් බිහි වන්නේ උපතින්ම නොවේ අප තුළින්මය .ඔවුන්ටත් ගරුත්වයක් ජීවිතේට ලැබිය යුතුය..ප්‍රශංසාවට මිනිසුන් සියල්ලෝම ලැදිය... එවන් වටපිටාවක සියල්ලෝම සියලු බේද අතැර දමා සියල්ලෝම ගැන සිතිය යුතු නොවන්නේද......? නිකරුණේ වැය වන මිල මුදලට අර්ථවත් දේ කොතරම් නම් කරන්නට තිබේද....තවමත් ලංකාව දියුණු වෙමින් පවතින රටවල් අතර තිබෙන්නට හැර පළමුව මොහොතක් හෝ යතාර්ථය දැකිය යුතුය..පොහොට්ටු පුබුදන්නට .....ඇතුන් රජ කරන්නට සීනු හඩවන්නට පෙරාතුව මනුෂ්‍යත්වයේ හඩට සවන් දිය යුතුමය. ************************************************* සුවද විලවුන් වලින් නැගෙන සුවදට වඩා එක් අතකට ආත්මයෙන් නැගෙන දහදිය පුසුඹය..සායම් පිරුණු වෙස්මුහුණු වල සිනහවට වඩා විටෙක අවුවේ කර්කෂ වන මුවෙන් නැගෙන සිනහව අව්‍යාජය...රන් මුතු මැණික් නැතුවාට කරගැට පිරි දෑත් සැමවිටම අත්දැකීමෙන් මෙන්ම සමාජ දැනුමෙන්ද ශක්තිමත් ය.හිස උසට උපාධි සහතික තනතුරු පට්ට්ම් නැතිවාට හිතේ හයිය මහමෙරකට වඩා නොවටින්නේද....? තමන්ගේ කුණු දස අතේ බෙදන....තමන්ගේ වැසිකිලියවත් හෝදන්නට ශක්තියක් නැති...අවුවකට වැස්සකට ඔරොත්තු නොදෙන සුපිරි ජීවිතයේ අභිමානය කුමක්ද?දැන හෝ මාද ඇතුලුව බොහෝ වුන් කරන්නේ මෙවැනි සත්‍ය යට ගැසීම හෝ අමතක කිරීම නොවන්නේද.... ?
වාශු
No comments:
Post a Comment