Saturday, July 27, 2019

දැදිගම සූතිගර වෙහෙර

පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි  පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දැතිගම ගමේ කොටවෙහෙර පිහිටා ඇත. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 66ක් පමණ දුරකින් පිහිටි නෙළුම්දෙණිය  උප නගරයෙන් දකුණට විහිදෙන ගලපිටමඩ මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානයට පිවිසිය හැකිය. .මහාවංශයට අනුව දොලොස්වන සියවසේදී මානාභරණ රජු විසින්  දක්ෂිණ දේශය අගනගරය ලෙස පුංඛගාමය නාමය යොදාගෙන ඇති අතර ක්‍රිස්තු වර්ෂ
1153 1186 කාලයේ දී පොළොන්නරුවේ රජ බවට පත්වූ පළවන  පරාක්‍රමබාහු රජතුමාගේ පුත්‍රයෙක් වේ .මෙම පරාක්‍රමබාහු  උපන් ස්ථානය රියන් 120 ක් හෙවත් අඩි 1 300 ක් උසට සූතිඝරයක් ඉදි කරමින් චෛත්‍යයක් ඉදි කරවූ බවද සඳහන් වන අතර එයද දැදිගම පිහිටි කොටවෙහෙර බව පුරා විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත. 1947දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැදිගම කොටවෙහෙර කැණීම් කර සංරක්ෂණය කර ඇති අතර සංරක්ෂණයෙන් පසු දැනට දාගැබ උස අඩි හතළිස් හතක් හා වට ප්‍රමාණය අඩි 804 ක් වේ .මෙම කැනීම්වලදී  සොයා ගත් විශිෂ්ට කලා නිර්මාණයක් ලෙස පිළිගන්නා ඇත්පහන ඇතුළු පුරාවස්තු ආසන්නව පිහිටි කෞතුකාගාරය තුළ මහජන  ප්‍රදර්ශනයට තබා තිබේ.



Friday, July 26, 2019

ඉන්න බැරි හැටි නුඹට මං ළඟ

කියන්න පුලුවන් උනානම්
මං ආදරේ බව  නුඹට
ඉන්න තිබුණා ළඟම
හුස්මකින් වත් දුරකින් නොයිද

මොකක්දෝ නුහුරු ගතියකට
නුඹ යද්දි ඇගේ අත ගෙන
නොගිහින් දුරකට
නැවතියන් මගෙ ළඟම
කියන්නට පුලුවන් වුණානම් මට

හැම දේම දැනගෙනත්
නොතේරුණා වගේ ඉන්න නුඹෙන්
අහන්න පුලුවන් උණානම්
සෙනෙහස  ඇයි මෙතරම් දුර
සමහර විට
උත්තර නැති වෙන්නටත් තිබ්බා නුඹට
හදවතේ හංගාන සෙනෙහස
දුක් විඳින තරමටම

වාශු ❤

Thursday, July 25, 2019

විෂම ❤

පැතුම් දල්වා
සුසුම් විළිලා
වෑයමෙන් වැදු
ආදර අන්දරයේ
වැරදි කාරිය මම
වරද  මාගේ
ගැහැණුකම

නිදොස් කොට නිදහස් කළ
කතාන්දරයේ
නිවැරදි කරු නුඹ
හේතුව
නුඹේ
පිරිමිකම

වාශු❤

Thursday, July 11, 2019

දෙමාපිය සෙනෙහස රියැලිටියෙන් ඔබ්බට විමසමු



දෙවැනි බුදුන් ලෙස ලෝක පූජිත ගෙදර බුදුන් අම්මා ය. දරා දස මසක්  දරුවන් මෙළොවට ජනිත කිරීම පමණක් නොව දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා තමන්ගේ ජීවිතය පරදුවට තබමින් කඳුලැලි දහඩිය මුගුරු වගුරවමින් තමන්ගේ සතුට දරුවන්ගේ සතුට වෙනුවෙන් කැප කරන්නට තරම් පරාර්ථකාමී උතුම් මනුසත්කමක් හිමි මිනිසුන් අතර දෙමාපියන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානය කි .රුධිරය කිරි කරන්නටත් සෙනෙහස මහ මෙරක් සේ දරුවන්ට  පුද කරන්නටත් අපූරු හැකියාවක් ඇති මව්තුමියත් ,අප්‍රකාශිත සෙනෙහසකින් නිහඬවම දරු කැළගේ සුභ සිද්ධිය වෙනුවෙන් ජීවිත කාලය කැප කරන පියතුමත්  දරුවන්ගේ මුල් ගුරුවරුන් මෙන්ම පරමාදර්ශී චරිතයන්‍ ය..

ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරුගේ කිරණින් හා මවගෙ රුධිරයෙනි.මැක්සිම් ගෝර්කි පැවසුවේ එලෙසිනි.වචනයේ පරිසමාප්තියෙන්ම මව ගෙදර බුදුන්‍ ය.හිරු නැඟෙන්නටත් ප්‍රථමව අවදිවන ඈ  නින්දට යන්නේ සියල්ලට පසුවය.දරුවන්ගේ යහපත් මිස ඇයට අන් සතුටක් නැති තරම් ය. කුසගින්නට රස බොජුන් ගත සරසන්නට සුව සිනිඳු වස්ත්‍ර සොයනවාටත් වඩා ඇය දරුවන් සරසන්නට සනසන්නට සිහින දකින්නට පටන් ගත්තේ කුස තුළ කළලය පණ ගැසෙන්නටත් මත්තෙන්ය.

එතැන් පටන් දස මස කුස දරා දරුවන් බිහි කරන දා දක්වාත් ඉන් පසුවත් ජීවිත කාලය පුරාවටත් මවට ලෝකයම වූයේ දරුවන්‍ ය.සිය දහස් ගණනක් වූ සිහිනයන් යතාර්ථයක් කරන්නට අප්‍රමාණ කැප කිරීම් කරමින් මවු වරුන් පියවරුන්  ඔවුන්ගේ සතුට සදහටම අමතක කරන්නට තරම් අපූරු සෙනෙහසක උරුමකරුවන්‍ ය. තාරුණයේ උජාරුවෙන් සැරසූ අග පසග රැළි වැටී වැහැරෙන්නේ හැඩි දැඩි අත්පා කරගැට සැදී රිදුම් දෙන්නේ දරුවන් වෙනුවෙනි.

වෙල් දෙණිවල ඇවිද බතල දළු නෙලා තම්බා දුන් මව් වරුන් මෙන්ම, දිය හැකි ප්‍රණීතම රස මසවුළු ලබා දුන් අම්මාවරු තමන්ට ඇති හැකි පමණින් දරුවන් වෙනුවෙන් සිය ජීවිත කැප කළ බව නොරහසකි.
(තමන්ගේ කුසින් වැදූ දරුවන් මහ මග දමා ගිය ,දෙතන කිරි ටික දරුවන් වෙනුවෙන් දිය නොකළ අම්මාවරුන්ද සිටින බව වෙනමම කතා කළ යුත්තකි.)

ගෙයින් පිටට යනවිට එසිය හැටක් වැඩත් ගෙයට ඇතුළු වන විට එසිය හැටක් වැඩට දක්ෂ මවු තුමිය තරම් පරමාදර්ශී චරිතයක් දරුවකුට සිටිය හැකිද..ලයාන්විත නැලැවිල්ලෙන් දරු පරපුර සනසන්නට නලවන්නට ඇයට තරම් අපූරු හැකියාවක් වෙන කාටවත් නැති තරම්‍ ය.වැදූ මෙන්ම හැදූ මවුන්ද එකසේ වැදගත්‍ ය..

වර්තමානය මානුෂීය සම්බන්ධතාවයන් පවා උඩු යටිකුරු කළ යුගයකි.වෙනස්වන සමාජක්‍රමයක තුල මිනිසාගේ බැඳීම් පවා සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතී.මා පිය දූ දරු සබඳතා පවා ප්‍රශ්නාර්ථයක් ලෙස නිර්මාණය වන බවක් දැක ගත් හැකි වේ.
එවන් යුගයක හොඳම දරුවා හඳම දෙමාපියන් මනින්නේ හරි අපූරු ලෙසනි.

මූදල් මත දේපල ඉඩකඩම් මත මෙන්ම දක්ෂතා මතින් මිනිසුන් වර්ගීකරණය කරමින් ලාංකේය මාධ්‍ය රියැලිටියක් නිර්මාණය කරමින් පවතී.සැණකින් බිහි වන තරු සංකල්පය කොතැනට උචිත වුවත් එය මාතෲත්වයට ගැලපීම් සර්ව සාදාරණ යැයි නොසිතමි.
සැබෑය මවු වරුන් තුළ සැගවුණු කුසලතා බොහෝය.නමුත් නුදුරේදී "මගෙ අම්ම තරම් ඔයස්ගෙ අම්ම දක්ෂ නෑ' ලෙස නොදරුවන් අතර පවා ගැටුමක් නිරමාණය වන්නට ඇති අවකාශය වැඩි යැයි සිතමි.සැම දරුවෙක්ටම ලිව හොඳම පුද්ගලයින් වන්නේ තම දෙමාපියන් වීමෙහි වරදක් නැත .එය එක් ක්ෂේත්‍රයක් මත මැනීම සාධාරණ නොවන වව මගේ මතයයි. නුදුරේදී ලාංකේය මාධ්‍ය සුපර් ඩැඩ්ලාවද සොයා යනු ඇත.

මේ උත්සාහය පවතින සමාජක්‍රමය මත වෙනස් නොවී සිටිය යුතුයි පැවසීමට නොවේ.වෙනස් වන සමාජ ක්‍රමය මත මිනුසින් වෙනස් විය යුතුය..දැඩි ලෙස සංස්කෘතික මත වල එල්ලී සිටිය යුතු නැත.

නමුදු මානුශීය බැඳීම් රියැලිටි වැඩසටහන් මත මැන බැලීම සාධාරණද යන්න වරක් දෙවරක් නොව දස දහස් වර සිතිය යුතු යැයි සිතමි.


වාශු❤

Monday, July 8, 2019

❤❤❤❤

දුක දරාගෙන කප්පරක්
හිත හදාගෙන හිනැහුණත්
ගල් කෙරූ සිත
සවිය දියවී
වැටෙනවා නෙත් තෙත් කරන්

හුස්ම ගන්නට එක වරක්
පැතුම් පොදි ගොනු කළ තරම්
දෙපා පාමුල බිදී යද්දී
වැටෙනවා හිත  දිය කරන්

වින්ද දුක් ගිනි මහ මෙරක්
ඉවසගන්නට බෑ තවත්
ගතේ සවී බිදෙමින් වැටෙන හැටි
විදිනවා නෙත් තද කරන්

ගෙවූ කාලය කොයි තරම්
මතක පොදි බැන්දත් ඉතින්
හුස්ම නැවතී නෙත් පියවියන්
මහන්සී මට ඒ තරම්.

   වාශු

සිනහවක් වෙනුවෙන් ජීවිතය අකුරු කරමි



ජීවිතය පුදුමාකාරයි...මෙහෙම කීවට ජීවිතය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට නිර්වචනයක් තාමත් අපි ළඟ නෑ..දුක සතුට සිනහව කදුල තනිකම පාලුව වේදනාව ආදරය විරහව මේ හැම දෙයක්ම ජීවිතේ ඇතුළෙ තියනවා අඩු වැඩි වශයෙන්..මිනිස්සු විදියට අපි විදිනවා ...විදවනවා,,හිනාවෙනවා,, තවත් වෙලාවක කෑ ගහලා අඩනවා,,ප්‍රශ්න වලට උත්තර හොයනවා..ඉතින් මේ හැම දේම ජීවිතේ ඇතුලෙ තියන හින්දම ජීවත් වෙනවා කිය්න්නේත් මේ හැම දේටම කියලයි මට නම් හිතෙන්නේ...

ධනය ,බලය, ස්ත්‍රීත්වය, පුරුෂත්වය, අදහස් මතවාද ,අනුව අපි එකිනෙකාගෙ ජීවිතය වෙනස්...එත් අවසන් හුස්ම පිට වන තුරුම වෙනස් නම් වලින්,,විවිධ ක්‍රම වලින්,,අපි හැමෝම කරන්නේ ජීවත් වෙන්න උත්සාහ කරන එක...ඉගෙන ගන්නේ ....අලුත් දේවල් හොයන්නේ  රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න..දුප්පත් පොහොසත් පන්ති පරතර හදාගෙන...උගත් නූගත් බෙදීම්  හදාගෙන සමාජය බෙදන්න පුලුවන් හැම විදියකටම බෙදාගෙන මිනිස්සු හැමෝම කරන්නේ මැරෙනකම් ජීවත් වෙන්න උත්සාහ කරන එක.කවුරුත් දන්න ඒත් කාටවත් තේරුම් ගන්න උවමනාවක් නැති ඇත්ත තමයි ඒ...

මුලින් කිව්වා වගේ සමාජයේ මිනිස්සුන්ගේ ජීවිත ගෙවෙන්නේ එකිනෙකාට වෙනස් විදියට..අදුර දුරු කර ගන්නවත් විදුළි එලියක් නැතිව කුප්පි ලාම්පුවෙන් එළියක් හොයන මිනිස්සු ඉන්න රටේම තවත් පිරිසක් තමන්ගෙ මන්දිර නේක  වර්ණ විදුළි බුබුලෙන් සරසලා.එක වේලක් කුසට බත් ඇටයක් හොයන්න යදින මිනිස්සු ඉන්න රටේම තවත් පිරිසක් නිකරුණේ කෑම බීම ගහගෙන.රටෙනුත් එහා උසස් ආයතන වල අධ්‍යාපනය ලබන දුවා දරුවන් අතරෙම තවම සපත්තු දෙකක්වත් නැතිව එකම නිළ ඇදුම වත්කම කරන් ගමේ ඉස්කෝලෙට අඩි තියන දරුවන්ද නැතිවාම නොවේ...ඇති කරන සුරතලාගේ බෙහෙත් වේලට පවා ලක්ෂ ගණනින් වියදම් වෙද්දි තවත් පිරිසක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් හම්බෙන බෙහෙත් ටික ගන්න වරු ගණන් පෝලිම් වල

මේ ගැන කතා කළොත්ගොඩක් දෙනෙක් දකින්නේ එක්කො මේ පන්ති පරතරය ...නැත්තම් දේශපාලනය..මන් ඇත්තටම උත්සාහ කළේ මේ ජීවිතය කියලා කියන්න ...ඒ අතර අපිට අවබෝධ වෙන ගැටලු සහගත තැන් නැතුවාම නෙමෙයි...කොහොම වුණත් මේ ජීවිතය...ඒකට මුහුණ දෙන්න බැරිව අකාලයේ ජීවිතය නැති කර නොගන්න ඕනම කෙනෙක්ට මන් කිව්ව වගේ මොනම විදියකට හරි ජීවත් වෙන්නම වෙනවා...

ජීවත් වීම ගැන ගොඩක් අය ගොඩාක් කතා කියනවා...දුකක් දරා ගන්න...පාලුව ගෙවාගන්න ...වැටුණු තැනින් නැගිටින්න හැමෝම තවත් කෙනෙක්ට කියන්නේ එහෙම.ඒත් අහන කෙනා වගේම කියන කෙනත් දන්නවා කොයි තරම් අමාරුද ඔය කියපු දේවල් කරන්න කියලා..අමාරුවෙන් හරි ඒ දේවල් කළොත් අවසානෙ ඉතුරුවෙන්නෙත් සතුටක් ..

ජීවිතේ හරි අවදානමක්...පුන්චි වරදකට පුලුවන් ඉතුරු කාලෙම විනාස කරලා දාන්න ..ඔව් ඒක ඇත්ත..ඒ නිසා ජිවත් වෙන්න ඕන හරි පරිස්සමෙන් .හැබැයි පුන්චි වරදකට සමහර වෙලාවට පුලුවන් කවදටත් වඩා ශක්තිමත් විදියට අපේ ජීවිතේ හදන්නත්..අය කවදාවත්ම නොබිදෙන විශ්වාසයක් එක්ක..ඒ නිසා වැරදීම් වැටීම් අහිමිවීම් ජීවිතේට ආශිර්වාදයක්...
 මේ තරම් දුරක් ජීවිතේ ගැන අකුරු එකතු කළේ කවදාවත් නොදැකපු මුහුණුපොතේ සොයුරියක් මගෙන් ජීවිතේ ගැන අහපු නිසා..මගේ පාසලේම නැගනියක්.ජීවිතේට බොහෝ අහිමිවීම් හිමි කරගත් මා වැනිම ස්ත්‍රියක්...දෙමාපිය සෙනෙහස රැකවරණය නොලද තවත් දරුවෙක්..අධ්‍යාපනය මහා වදයක් ලෙස සිතූ ජීවිතය එපා වූ මිනිසෙක්. ..............................
 ‎ඈ මෙන්ම මා මෙන්ම තවත් ජිවිතේ කලකිරීම විදින්නවුන් අපි අතරම .අපිට  වෙන්කරලා අදුරගන්න බැරි වුණාට දුක හන්ගන් හිනාවෙන මිනිස්සු ඕන තරම්...කියන්න තියෙන්නේ ජිවිතේ ඔයාගෙ කරන් ජීවිතේ විදින්න කියන එක තමයි...තව කෙනෙක් කියනවට තමාව හෑල්ලු කරනවට බයේ අපි යන පාර අපි වෙනස් කරන්න ඕනද...දියුණුව කියන්නේ උසස් අධ්‍යාපනය රජයේ රැකියාව තට්ටු මන්දිර යාන වාහනම නෙමේ..ඒත් ඒවත් ජීවිතේ කොටසක්.ඒ නිසා ආමිසයෙන් පටන් අරන් ප්‍රතිපත්තියකට ජීවිතේ හදා ගත්තාම තමයි ගොඩක් ලස්සන ...
ලස්සනට අදින්න, විලාසිතා කරන්න, කන්න බොන්න ,සතුටු වෙන්න තහනමක් නෑ...ඒක කොයි තරම් දුරට කරනවද ,කොතනින් නතර කරනවද කියන තීරණය ගන්න ඕන තමන්මයි...හැඩ වෙනවා,,  සල්ලි මත්තෙ නැහෙනවා කියන මිනිසුත් කරන්නේ ඔය දේම තමයි..
ඒ නිසා ලස්සනට ජීවත් වෙන්න ජීවිතේ හදා ගන්න එක තියෙන්නේ තමන්ගෙම අතේ...අපි ඕන තරම් අඩල ඇති ඉස්සරහටත් අඩයි..එහෙම කියලා අපිට හිනාවෙන්න තහනමක් නෑ...ඒ නිසා හිනා වෙන්න අමතක කරන්නත් එපා...ඕන තරම් මිනිස්සු අපෙ ජීවිතේට එයි .ආවටත් වඩා ඉක්මනින් සමහරවෙලාවට යන්නම යයි..එහෙමත් නැත්තම් අපි ළගම ඉදියි..අපිට ඔවුන් නිසා දුක සතුට වේදනාව දැනෙයි..ඒ තමයි ජීවිතය..

ජීවිතය කවියක වචන වගේ ,චිත්රයක පාට වගේ,,නව කතාවක් වගේ හැම වෙලේම ලස්සන නෑ..හැබැයි අපිට ඒක ලස්සන කරගන්න පුලුවන්..එකපාරම. සමහර වෙලාවට කීප වතාවක් උත්සාහ කළාට පස්සෙ..ඒ තමයි ජීවිතේ හැටි.ලැබීම් නොලැබීම් මැද්දෙ ..දුක සතුට මැද්දෙ ලාභ අලාභ මැද්දෙ අපිට ජීවිතේ පැටලිලා...ලෙහා ගන්න අමරුයි..ඒත් ලෙහා ගත්තොත් ජීවිතේ ලේසියි.

 මම මේ ලිව්වේ ජිවිතේ ගැන මට දැණුන දේ ගැහැණු පිරිමි බේදයක් නැතුව හැමෝටම පොදු කාරණය.මේ කතාවට ඕන තරම් දොස් ඒවි..ඒකත් ජීවිතේම කොටසක්..කොහොම  වුණත් මම කියන්නේ ඔබ ඔබම වෙලා ජීවිතය ආමිසයෙන් ප්‍රතිපත්තියට අරන් යන්න...ඔය ගමන ඇතුලෙ ජාතිය ආගම තමන්ගෙ රට අම්මා තාත්තා කොටින්ම කියනවනම් මුල අමතක නොකිරිම තුළ ඔය ජීවිත තවත් ලස්සන වෙයි....
 ‎
  ‎වාශු

හුස්ම වැටෙනා දුරින් හැමදාම මගෙ ළඟ ඉන්න

රිදවන්න රිදවන්න මේ හිත
ළං වෙන්නෙ නුඹ ලගටම
ඒකම තමයි අරුමය
සෙනෙහසක  නුඹ පුද කළ
යන්නම වුණෝතින් හෙට
යන්නේ කොහොමදැයි මම
දන්නෙ නෑ තවම
හිත කියන්නෙම ඉන්න
ඒ තරම් ලගයි
ඔය සෙනෙහස මට
කප්පරක් හීන දකිමින්
අවැසි නෑ නුඹ දුර යන්න
හුස්ම වැටෙනා දුරින්
හැමදාම මගෙ ලග ඉන්න

වාශු

මවක් වෙනුවෙන්

"අනේ මේ දරු පැටියගෙ බඩගිනි නිමා ගන්න උපකාරයක් කරලා යන්න නෝනා මහත්තයලා"

පිට කොටුවේ සිට කිරිබත්ගොඩට පැමිණීමට බසයට ගොඩ වූ මා දුටුවේ අවුරුද්දක් පමණ වයසැති දරුවකුද සමග සිගමන් යදින තරුණියකි.
බසයේ වූ හිස් අසුනක වාඩි වූ මම ඇය දෙස බැලුවේ අනුකම්පාවෙනි.
 හදා ගන්න බැරුව අතරමග ළමයි දාලා යන අම්මලා අතරෙ,බඩට ආව දරුවා මරලා දාන්න තරම් කුහක මිනිස්සු අතරේ හිඟා කාල හරි ළමයි ජීවත් කරන අම්මලත් ඉන්නවා....මට හිතුනේ එලෙසය...මටත් නොදැනීම මගේ දෙනෙතින් කදුලු වැටුනේ අහිමිව ගිය මවු සෙනෙහස නැවත විදින්නට ඇති වූ බලවත් ආශාවකින් සිත තවමත් පීඩා විදින නිසාවෙනි...
"බොරුවට ළමයා පෙන්නලා සල්ලි හොයනවා...හොයන සල්ලි වලින් කුඩු ගහනවා...පේන් නැද්ද ගෑණිගෙ ඇස් දෙකත් රතු වෙලා ....ඉන්නෙ මත් වුණා වගේ"
මගේ සිතුවිලි බිදී ගියේ බසයෙන් නැගුණ හඩිනි...නිරායාසයෙන්ම මගේ දෙනෙත් යොමු වූයේ පෙර කී කාන්තාවගේ දෙනෙත් වෙතටය..සැබවින්ම ඒවා රතු පැහැ වී තිබුණි.. විඩාවෙන් අවපැහැයට ලක්වූ මුහුණ අදුරුය.ඇය මත් වී සිටියාද නැද්දැයි තවමත් මට සිතාගත නොහැකිය...නමුත් කුමකින් හෝ ඈ සිටියේ හෙම්බත් වී යැයි මට සිතේ...එක්කෝ ඈ ජීවිතේ ගැට ගසා ගන්නට දරුවා රැක ගන්නට නොවිදිනා දුක් විදින්නියක විය හැකිය..එසේත් නැතිනම් මුසා පවසමින් මුදල් ඉපයීමේ උපායක් ලෙස දරුවා යොදා ගන්නා එකියකද විය හැකිය..ඇයගේ ජීවිතයේ යතාර්ථයක් සොයා ගැනීම එතරම්ම අසීරු යැයි මොහොතකට මට සිතුණි...
කෙසේ හෝ ඇයත් ගැහැණියකි.බොරු මවා පෑමක් ඇය තුළ නොතිබිණි නම් වචනයේ පරිසමප්ත අරුතින්ම තම දරුවන් රැකීමට වෙහෙස ගන්නා ඇයත් මවකි.සිගමන ඇයට කෙසේ උරුම වූවක්ද යන්න වෙනමම සිතා බැලිය යුතු කාරණාවකි.අකීකරුකම දිලිදු කම හෝ තවත් බොහෝ කාරණාවන් ඇගේ කතාව පිටුපස තිබෙන්නට හැකිය.

විශ්වයේ ජීවය රැදී පවතින්නේ හිරුගේ කිරණින් හා මවගේ කිරි වලින්‍ යැයි අපි අසා ඇත්තෙමු.හිරුගේ කිරණ මෙන්ම මවගේ කිරිද දැන් දැන් පෘථිවි වාසීන්ට විස වී යන සෙයකි.මා එසේ සටහන් කළේ කිසිවිටකත් උතුම් මවු පදවියට නින්දා කිරීමට නොවේ..තමාගේ ලෙයින්ම උපන් දරුවන් මහ මග දමා යන,උපන් විගස විකුණා දමන,මරා දමන සිද්දීන් මෑත කාලයේ පුවත් මැවුවේ තරඟයට මෙනි. හේතු කාරණා කුමක් වුවත් එවැනි සිදුවීම් ඇතැම් අවස්තාවල සමස්ත මවු පදවියම නින්දාවට ලක් කළ බව නොරහසකි.
කෙසේ වෙතත් මේ සටහන මාතෲත්වය මවු සෙනෙහස හා දරු පරපුර සම්බන්දයෙනි..

දස මස කුස හෙවූ දරුවා මෙලොවට බිහි කරන කාන්තාව මව ලෙස සරලව අරුත් ගැන්වුවද කිසි විටකත් ඇගේ සෙනෙහස කැප කිරීම සරලව වචනවලට පෙරලිය නොහැකි තරම් අනර්ඝ ය.තම සිරුරේ දුවන රුධිරය කිරි බවට හැරෙන්නට තරම් අම්මා තුල උපදින්නාවූ සෙනෙහස අතිමහත්ය ..බිලින්දා වැඩිහිටියකු වන තෙක්...ඉන් අනතුරුවත් මවගෙන් ලැබෙන සවිය කිසිවකට මිල කළ නොහැකිය..ඇය එතරම්ම වටිනා සම්පතකි.

දස මස කුස හොවා දරුවන් ජනිත කරමින් මවු පදවි දරන්නන් සිටින සමාජයේම...එම වාසනාව අහිමිව ගිය ස්ත්‍රීන්ද නැතිවාම නොවේ..නමුත් ඔවුන්ද බොහෝ දරුවන්ට මවු වන අවස්තාවල අඩුවක් නැත.හුණුවටයේ කතාවේ ගෲෂා මෙන් වෙමින් වැදූ මව මෙන්ම ඇතැම් අවස්තාවල ඊටත් වඩා වැඩි සෙනෙහසක් දරුවන්ට දීමට හැදූ මවටත් හැකියාවක් ඇත...කුස තුල නොදැරුවත් දරු පෙමට රුධිරය කිරට හැරවූ කාන්තාවන් සමාජයේ නැතුවාම නොවේ.
නිවසේ දෙවියන් මව යැයි පැවසීමේ කිසිදු වරදක් නැත..උරුලෑවට තම පැටියා මැණිකක් වන්නේ යම් සේද මවටත් මෙලොව ඇති වටිනාම සම්පත තම දරුවන්‍ ය.එවන් මවුවරුන් ලද දරුවන් සැබවින්ම වාසනාවන්තය .එහි කිසිදු තර්කයක් නොමැත..

නමුත් වත්මන් සමාජ වෙනස තුළ මවු සෙනෙහසත් ඇතැම් අවස්තාවල වෙනස්ව ගොසින්දැයි සිතෙයි ..දස මස කුස දරා බිහි වන දරුවාට මව වන්නේ බොහෝ විට මෙහෙකාරියයි..සෙනෙහසින් කිරි වූ රුධිරය පියයුරු මතම ගල් ගැහෙද්දී  දරුවාගේ කුස පිරවෙන්නේ පිටි කළ කිරෙනි..නැලවිලි ගී වෙනුවට ළමා මනස අරක් ගන්නේ තාක්ෂණික සංගීතයයි.. මවගේ තුරුල සොයන දරුවාට තුරුලට උණුසුම ගෙනෙන්නේ නේක මිල අධික සුරතල් සෙල්ලම් උපකරණයි.දරුවන්ට දිය යුත්තේ හොදම දේ මිස මිල අධික දේ නොවේ..හොදම අම්මා වන්නේ සුපිරි සැප පහසුව දරුවාට ලබා දෙන්නියද නොවේ..පොලොවේ පය ගසන්නට හැකි...අන් මතයන්ට ගරු කළ හැකි කළගුණ සලකන දරුවකු සැකසීම මවක් විසින් කළ යුතු කාර්‍යන් අතර වේ.

වර්තමානයේ බොහෝ දරුවන්ගේ යහ ගුණ දම් මියැදී යාමට ප්‍රධාන අඩිතාලම වැටෙන්නේ පවුල තුළිනි..එමෙන්ම ඉතා හොද මවු පියන් සිටින දරුවන්ට නිසි මග පෙන්වූ මවු  පියන් සිටින පවුල් තුළ සරලවම පැවසුවහොත් නහට අහන්නැති දරුවන්ද සිටින අවස්තා නැතුවාම නොවේ.සුපිරි ජීවිත ගෙවන ඇතැම් දරුවන්ගේ දෙමාපියන් මහලු නිවාස තුලය.ඇතැමුන් මහමගය...මෙවන් පසුබිමකම තම මවුන් පියන් ඇස් දෙක මෙන් බලා ගන්නා දරුවන්ද නැතිවාම නොවේ...

මේ සටහන විශ්ව ගීතයට තනුව වූ මවු සෙනෙහසට උපහාර පුදන්නට පමණක්ම නොවේ..මවු සෙනෙහසේ අරුත නිසි ලෙස වටහා නොගත් දරුවන්ගේ හා ඇතැම් මවු වරුන්ගේ නෙත් තුල වූ තිමිර පටලයන් බිද දැමීම උදෙසාය..දස මස කුස දැරූ මවුන් නමින් දිවුරමින් ....රක්ත වර්ණ ලේ කිරි ලෙස උරා බිවු මුවෙන්ම මත් වතුරට ලොල් වූවන් ........තම දරුවන් මරා දමමින් සුර සැප විදින්නන් නැතුවාම නොවේ...
කණගාටුවෙන් වුවත් පැවසිය යුතු තවත් කාරණාවකි ..තවකෙකුගේ ජීවිත වනසමින් තම ජීව්ත  රැක ගන්නා බොහෝ දෙනෙකුට අනුබල දෙන මවුවරුද නැතුවාම නොවේ."අම්මා එදා මේ දේ වැරදි කියලා මට කිවුවනම්  "යනුවෙන් නුදුරු දිනෙක දරුවන් පවසනවා අසන්නට  කිසිවකුත් කැමති නොවනු ඇත.

එසේනම් කළ යුතු බොහෝ දේ ඇත..දරුවන් වශයෙන් මවු පියන් වෙනුවෙන්ද....මවු පියන් වශයෙන් දරුවන් වෙනුවෙන්ද කළ යුතු දෑ බොහෝය.එම යුතුකම් වගකීම් හා වගවීම් නිසි අයුරින් වූ තැන ගැටලු අවම වනු ඇත..
දරුවන් වෙනුවෙන් මහ මගට පවා බසින ...සිගමන් යදින ...සුවහසක් සෙනෙහස දරුවන්ට පුදන මවුනි ඔබ ගුණ කද කිසිදා මැකී නොයනු ඇත..
 මාතෲත්වයට තවමත් නිසි අරුත් දෙන්නට නොහැකි වූ අයෙක් වේද උත්සාහ ගත යුත්තේ කිසිදු හේතුවක් මත මාතෲත්වය හෑල්ලු නොකර සිටීමටය.දරුවන් මත මෙන්ම එම වගකීම මවුවරුන් මතද පැටවී ඇති බව අමතක නොකළ යුතුය.මවගේ කිරි වල ශක්තියෙන් විශ්වය  සුරැකෙන්නේ එවිටය...


වාශු

Sunday, July 7, 2019

දැනගෙන කතරගං යාමයි හොඳම දුවේ

අතට කරට රන් අභරණ හිඟ
වෙද්දී
ගත සරසන්න දුහුලින් සලු නැති
වෙද්දී
දුප්පත් අතු පැලේ සෙනෙහස
ඉතිරෙද්දී
දුවේ නුඹ ගියා අම්මා ඉකිලද්දී

පාට සරුංගල් මැද හිත නතර වෙලා
විසිතුරු මැදම තනි වූ සිත මුලා වෙලා
ගෙදර විදි සැපත දුක් ගින්දරක් වෙලා
නුඹ ඉගිලුණා සුර සැප යස ඉසුරු බලා

වසාගෙන සිරුර හැඩ ඇති මල්
ගව්මෙන්
නුඹ දිස් වුණේ සත්තයි සුරඟන
විලසින්
සතුටට ඉනුව කදුලැලි නෙත්
අග්ගිස්සෙන්
උතුරා ගැලුවෙ නුඹ යන හැටි දැක
සද්දෙන්

වැලි පිල්ලේ ලියපු අකුරේ හැඩ
මැකිලා
ඉස්සර වගේ නෙමෙ දැන් ලෝකය
වැඩිලා
මොනවද දන්නේ ඔය උදවිය ගම්
වැදිලා
නගරෙම තමයි දියුණුව දිවියට
මෙකලා

කියමින් නේක බස් පා කර      අවලාද
නුඹ නික්මුණා නිමමින් ගෙයි මිණි පාන
කිවු මුත් නොයන්නට බිදගෙන මල් පාර
ඔය හිත නුඹට කලියෙන් දිව්වා    ඈත

නුහුරුයි සිදාදිය  සුර පුර සේ           දුටුව
නුඹ ඉගිලුණේ රැවටී  බොරුවට   නතුව
නොදැන හසර  ගිය විට මග     අතරමග
නවතිනු මිසක  කොහි යන්නද කතරගම

වාශු

අමාවකට නැති සඳ නොවටී පුන් පෝ දාට

අංශු මාත්‍රයක සෙනෙහසක් වත්
නොතබා ළඟ
තිබූ බන්ධන
රිවි දුටු හිරු සේ පළවමින්
දුර දිව් නුඹෙන්
ඇසුවා දවසක් 
හඬමින්ම මම
දුක නැද්ද උඹට මං ගැන...............

"මේ මගේ ලෝකය"
සිණාසුණා මගේ කඳුලට
එදා සරදමට වගේ නුඹ
ඔව් ඒ උඹේ ලෝකය
මන් මගේ ජීවිතය අත් හැර
උඹ වෙනුවෙන් මවපු

කඳුල නෙත් අග දරන්
හිනැහුණා මං
ලෝකයට රහසින්
අඬ අඬ

නොසිතූ නිමේශයක
යළි ඇවිත් නුඹ
සුරතල් සිනා කොයි විමසන විට
කියමි මම
මේ මගේ ලෝකය
අමාවකට නැති සඳ
නොවටී පුන් පෝදාට

වාශු

Friday, July 5, 2019

ජීවිතයේ යටගියාව

ජීවිතය හරි පුදුමාකාරයි...සමහරු ලැබුණු ජීවිතේ නැති  කරගන්න උත්සාහ ගනිද්දි තවත් සමහරු ජීවත් වෙන්න පුංචි බලාපොරොත්තුවක් හොයන් ජීවිතේ ගැට ගහ ගන්නවා.ලැබීම් නොලැබීම් දුක් කදුලු සතු සිනා මැද නින්දා ප්‍රසංසා මැද ගෙවෙන ජීවිතේ ඇත්තටම වෙලාවකට පුදුමයක්....තවත් වෙලාවක ප්‍රශ්න පත්තරයක්...තවත් වෙලාවකට ගීතයක්.....සමහරුන්ට ජීවිතේ කියන්නෙම හීනයක්...
ගෙවුණු අවුරුදු කිහිපය දිහා ආපහු හැරිලා බලද්දි ...දුක සතුට කදුල වගේම ජීවිතේ කලකිරුණු පැරදුණ අවස්ථා ඕනෑ තරම්....ජීවිතේ හීන ගොඩ ගහපු ඒවත් එක්ක පොර බදපු දුක්බර අතීතය අද සුන්දර මතකයක්...මට වගේම හැමෝටමත් ඒක එහෙමම වෙන්න ඇති.
ගමේ අව්ව දූවිල්ල එක්ක පොර බදපු.........වැස්සට තෙමුනු කකුල් රිදෙනකම් පයින් ඇවිදපු අතීතය තාමත් හොදට මතකයි...අත්තම්මා ජීවිතේ ගැට ගහ ගන්න හරි හරියට දුක් විදිද්දි ඒ කදුලු හන්ගන් හිනාවෙන්න හදද්දි කාටත් හොරෙන් මන් කොයි තරම් අඩලා ඇද්ද.හැමෝගෙම අම්මලාගෙ තාත්තලාගෙ නොපෙන්නුව කදුලු ඔබත් අහම්බෙන් හරි දැකලා ඇති...
ගමේ ඉස්කෝලෙට අකුරු කරන්න යද්දි
අදින්න තිබ්බෙ එකම එක සුදු ගව්මයි..අම්ම තාත්ත නැති කෙල්ල කියලා මිනිස්සු මාව කොන් කරන්න හදද්දි මට වැටෙන්න නොදී මගෙ ළග හිටිපු මිනිස්සු අදටත් මට ශක්තියක්.
හීනයක්ම වෙලා තිබුණු සරසවිය යථාර්ථයක් වෙන්නෙම  ඒ කදුලු වල ....දාඩිය මහන්සියෙ ප්‍රතිපලයක් විදිහට...මන් වගේම සමහර වෙලාවට මටත් වඩා දුක් විදල ඉගන ගත්ත අය ඕන තරම්  අපි අතරෙ ඉන්නවා...ඉසට වහලක් ,කුසට අහරක් ,පොතක් පතක් බලන්නට එළියක් නැති මිනිස්සු ඕනවටත් වැඩී...එහෙම දුක් විදල ගන්න රැකියාව ජයග්‍රහණ ඒ විදපු දුකේ රස දන්න  මිනිස්සුන්ට මහ මෙරක් තරම් වටිනවා .
එක වසරෙ ඉදන් හම්බුණු  යාලුවන්ගෙන් අදටත් මන් ළග ඉන්න හොදම යාලුවා එක්ක උසස් පෙළට පාසල් යන්න එලියට බහින්නෙ උදේ 5 45 ට.දවසකට  කි මී 26 කට ආසන්න ප්‍රමාණයක් අපි බයිසිකලෙන් ඉස්කෝලෙට යන්න එන්න ඇති...අවුව වැස්ස විතරක් නෙමේ වෙලාවකට වල් අලි....ජීවිතේ අද වෙනකොට දුෂ්කරත්වයෙන් ලබපු අත්දැකීම් බහුලයි...
නියගය, ගංවතුර ,වල් අලි,විතරක්ම නෙමේ ආර්ථික ප්‍රශ්න නිසා ජීවිතේ විදවන්න වුණු මිනිස්සු ජීවත් වෙන බලස්පොරොත්තුවක් හොයන්නෙ හරියට ඉඩෝරෙට වැහි පොදක් හොයනවා වගේ.......
ආ ගමනට කොයි තරම් බාධක විවේචන තියෙන්න ඇතිද...අදටත් ඒවා අඩු වැඩි වශයෙන් ජීවිතේ එක්ක ගැටෙනවා...හයියෙන් හිනා වෙනවා වගේම කෑ ගහලා අඩන්න හිතෙන අවස්තාද ජීවිතේට උරුමයි..
සමහර වෙලාවට ගමක ඉපදීමම හෑලුවට ලක් කරන මිනිස්සු අපි අතරමයි.
සමහර මිනිස්සු මිනිස්සුන්ව මනින්නෙම හරි පුදුම විදියට...සල්ලි, ලස්සන  , විලාසිතා, යාන වාහන මිනිස්සුන්ගෙ ජීවිතේම වෙද්දි  ..අපිට ඕනම කරන මනුස්සකම් අපෙන් ඈත් වෙන්නේ සමාජයේ මිනිස්සු අතර ලොකු පොඩි ජාති ආගම් බේද කුල මල භේද ඇති කරමින්......
මේ හැම දේම මැද්දෙ ඔලුව උස්සන් තැනකට එන්න සෑහෙන අමාරුයි....ඇත්තටම කියනවනම් ඒකට මාර කට්ටක් කන්නම ඕන....
නැගිට්ටවනවට වඩා වට්ටන......ශක්තියක් වෙනවට වඩා දුක් දෙන ........මිනිස්සු බහුලයි ...අවබෝධයෙන් කටයුතු කිරීමයි වැදගත්ම...
දවසක සමාජෙ ඉහළ තැනකට අවාම .........මුල හොයන් නැතුව මිනිස්සු හැමෝම ළගට එයි...ඒ දවස වෙනකම්ම අපි වැඩ කරන්න ඕනි පරිස්සමෙන් ...කල්පනාවෙන්...
කොහොම කවුරු මොනවා කිවුවත් මට හිතෙන්නෙම ගල් බොරලු ඇනෙන ... බාට දෙකක්වත් නැති කකුල් දෙක තමයි ජීවිතේ ගොඩාක් දුර දුවන්න ශක්තිය දෙන්නෙ..සියුමැලි වෙන්න වෙන්න ඒ ශක්තිය අඩු වෙනවා...
ඉතින්......ජීවිතේ විදවීමෙන් තෘප්තිමත් විදීමකට අඩි තාලම හදනවාද......එහෙමත් නැත්තම් කියන්නන් වාලේ ජීවිතය විදිනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබමයි....
වාශු
සේයා  රූ අන්තර්ජාලයෙන්

සැබෑ මිනිසුන්ගේ කතාව

අවුවට වැස්සට හුරු මිනිසුන්ගේ හදවත් තුළිනුයි දුක් ගී ඇසුනේ ඒ මිනිසුන්ගේ කදුලැලි වෙනුවෙන් මොන රජ මැතිදුද පුටුවෙන් බැස්සේ ........... "මට නම් බං දැන් ජීවිතේ එපා වෙලා" "අතේ සල්ලිත් නෑ" "තාත්තටත් අසනීපයි" මිතුරියත් මමත් සරසවියට යන තුරුම කතා කළේ එවැනි දේය.සැබෑය.. ආර්ථිකය පමණක් නොව බොහෝ දෙයින් ජීවිතේ වින්දාට වඩා සිදු කළේ විදවපු එක වීම මුසාවක් නොවේ.. "ප්‍රශ්න අපිටමයි කිවුවට බං බලාන යද්දි හැමෝටම ප්‍රශ්න..."මිතුරිය පවසන දේද සත්‍යයකි . "ජීවත් වෙනවා කි‍යන්නෙත් ප්‍රශ්න වලට උත්තර හොයන එකම තමයි ඉතින්...."මට සිතුණේ එලෙසය.. සරසවි බිමෙහි වූ බංකුවක් වෙත ගිය අපි අසුන් ගත්තේ මද අවුව පවා පීඩාවක් ලෙස දැනෙද්දීය....... "මෙතෙන්ට තව ටිකකින් ගිනි ගහන අවුව...අපට මේ වැඩේ කරගන්න බැරි වෙයි" මාත් මිතුරියත් අසුන් ගත්තේ එසේ සිතමිනි. අඩ හෝරාවක් පමණ ගෙවෙන්නට ඇත. "මේ අව්ව මදිවට දූවිල්ල" මමත් මිතුරියත් දූවිලි මග ඔස්සේ ආපසු හැරුණෙමි....දුටු දසුනින් දෙනෙතට කදුලු උනන්නට එතරම් කාලයක් ගත වූයේ නැත. "පවු බං...........ගෙදරට වෙලා සැනසීමෙ ඉන්න ඕන කාලෙ දුක් විදිනව.බලපං ගොඩක් වයසයි ඒ මනුස්සයට" සැබවින්ම ඒ ගත තිබුණේ මලානිකවය.ඔහුගේ වත වැහැරී ගියේ කර්කෂ ජීවිතයට ඔරොත්තු දෙන්නටද එසේත් නොමැතිනම් නිසි වයසටමද මා දන්නේ නැත.නමුත් වයසටත් වඩා දුක් විදින සගවාගත් දුකකින් දිවි ගෙවන මෙවැනි ජීවිත අස්සේ ඇතැමුන්ට සතපහකට මායිම් නොවන, එහෙත් හදවත් කම්පා කරවන, නොකී කතාවන් සැගවී ඇති බව නම් නොරහසකි. "ඒ මිනිස්සු කරන රස්සාවට පඩි හම්බෙනවා" "පතාගෙන ආව විදිය තමයි" මෙලෙස සිතන්නන් ඔබ අතරද සිටිනවා විය හැකිය .දූවිල්ල... ඉර එලිය මහා පීඩාවක් සේ දකින්නවුන් අතර .....ටයි කෝට් ,පාටි ඩ්‍රෙස් සොයා සුපිරි තැන් පීරන්නවුන් අතර අතට පයට මෙහෙකරුවන් සිටින සුකෝපබෝගී ජීවිත ගෙවන්නවුන් අතර පයටම ඇලුණු රබර් සෙරෙප්පු දෙක. දුර්වර්ණ සම පමණක් නොව විඩාබර ගතටද සැප පහසු ජිවිතය පිළිබද ඇල්මක් නොමැතියැයි කෙසේ සිතන්නද ..... දුප්පත්කම අසරණ කම තනිකම ජීවිතයේ මං පෙත් වෙනස් කළා විය හැකිය ..ඇතැම් විට දරුවන්ට සුර සැප දී මොහු දුක් විදිනවා හෝ දරු පවුල රකින්නට වෙහෙසෙනවා විය හැකිය.ඔහුත් සමගම තවත් කොතරම් පිරිසක් එදා වේල පිරිමහන්නට වෙහෙසෙනවා නොවේද...සිතන්නට බොහෝ දෑ තිබේ ******************************************** ජීවිතේ ප්‍රශ්න ප්‍රශ්න කියමින් සිටින්නවුන්ට මේ ජීවිත තුල තිබෙන ප්‍රශ්න තිබුණානම්........මිල මුදල් යහමින් උතුරද්දීත් ධනයට බලයට තලු මරන මිනිසුන් එක මොහොතකට මේ දිවියට වැටුණානම්......හයි ක්ලාස් සැපයට මොහොතකට මේ වේදනාව දැනුනානම්...කොතරම් දේ වෙනස් වේවිද.... දුක හදුනන දුප්පතාට හිතවතෙකු වන සමාජ ප්‍රේමීන් පදුරක පය වැදුනත් බුරුතු පිටින් විසි වන රටක තවමත් දුකම උරුම වූවන් මොන තරම් සිටිනවා ඇත්ද.... රටෙහි එක කොනක සුර විමන් මැවෙද්දී තවත් කොනක අපා දුක් විදින මිනිසුන්....අතැමුන්ට සුබ මූහුර්ත තවකෙකුට රාහු කාලය.කෙනෙක්ට මගුල් බෙර තවකෙකුට මල බෙරය.වෙනසේ අසිරිය සැබවින්ම අසිරිමත්‍ ය... කුමන මති මතාන්තර දැරුවද මූලිකව විය යුත්තේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගන්නට මිනිසාට අවකාශ සලසා දීමය...තට්ටු මන්දිර සුකෝපබෝගි ජීවිත නැතුවාටම මිනිසුන් සියල්ලටම සතුට ජීවිතේට අවැසිය. අතුගාන කුණු අදින මිනිසුන් බිහි වන්නේ උපතින්ම නොවේ අප තුළින්මය .ඔවුන්ටත් ගරුත්වයක් ජීවිතේට ලැබිය යුතුය..ප්‍රශංසාවට මිනිසුන් සියල්ලෝම ලැදිය... එවන් වටපිටාවක සියල්ලෝම සියලු බේද අතැර දමා සියල්ලෝම ගැන සිතිය යුතු නොවන්නේද......? නිකරුණේ වැය වන මිල මුදලට අර්ථවත් දේ කොතරම් නම් කරන්නට තිබේද....තවමත් ලංකාව දියුණු වෙමින් පවතින රටවල් අතර තිබෙන්නට හැර පළමුව මොහොතක් හෝ යතාර්ථය දැකිය යුතුය..පොහොට්ටු පුබුදන්නට .....ඇතුන් රජ කරන්නට සීනු හඩවන්නට පෙරාතුව මනුෂ්‍යත්වයේ හඩට සවන් දිය යුතුමය. ************************************************* සුවද විලවුන් වලින් නැගෙන සුවදට වඩා එක් අතකට ආත්මයෙන් නැගෙන දහදිය පුසුඹය..සායම් පිරුණු වෙස්මුහුණු වල සිනහවට වඩා විටෙක අවුවේ කර්කෂ වන මුවෙන් නැගෙන සිනහව අව්‍යාජය...රන් මුතු මැණික් නැතුවාට කරගැට පිරි දෑත් සැමවිටම අත්දැකීමෙන් මෙන්ම සමාජ දැනුමෙන්ද ශක්තිමත්‍ ය.හිස උසට උපාධි සහතික තනතුරු පට්ට්ම් නැතිවාට හිතේ හයිය මහමෙරකට වඩා නොවටින්නේද....? තමන්ගේ කුණු දස අතේ බෙදන....තමන්ගේ වැසිකිලියවත් හෝදන්නට ශක්තියක් නැති...අවුවකට වැස්සකට ඔරොත්තු නොදෙන සුපිරි ජීවිතයේ අභිමානය කුමක්ද?දැන හෝ මාද ඇතුලුව බොහෝ වුන් කරන්නේ මෙවැනි සත්‍ය යට ගැසීම හෝ අමතක කිරීම නොවන්නේද.... ?

වාශු

Thursday, July 4, 2019

දස එකඩ මස සරි උපන් දා සිට දුන් කිරි කච්චියක් රෙදි සරි තෙමෙන්නට ඇත දුවට දුන්කිරි ...................................................... මහා උස්සවශ්‍රීයෙන් ජයට මංගලෝත්සවය සමරා ඇය තම ස්වාමියා හා ඔහුගේ නිවසට පැමිණියාය)

කැන්දගෙන සුරලියක් බදු ඈ
            එබෙන විට ගෙයි දොරකඩින්
සත්තකයි මගෙ පුතේ සතුටට
              කදුලු වැටුණා නෙත් දෙකෙන්
සිරිකතක් වී මගේ නිවසට
                         පෑයු නව සද විලසකින්
පළදවා රන් ‍රිදී අභරණ
                    පිළිගත්තෙ මා සන්තොසින්

දෙවැනි මව වී නුඹේ ළග සිට සලකපන් දියණිය කියා
ඔවා දුන්නේ සත්තකයි මා දරු පෙමක් හදවත දරා
ලේලියක ලෙස වෙනස්කම් නෑ හීනෙකින්වත් සිදුවෙලා
මගේ දියණියකටත් වැඩියෙන් හදවතට නුඹ ළං වෙලා

පුතේ ඔය මුව සතුටු සිනහව මහමෙරක් වාගෙයි සිතා
ගැහැට දුක් ගිනි දරා ගත්තා නුඹේ අබියස ගොලු වෙලා

වැහැරිලා ගිය මගෙ ගතසිත හැඬි කරයි නුඹෙ මන්දිරේ
නුඹ ප්‍රියාවිගෙ මුසා බස් වැල් වලින් තවමත් කන් පිරේ
මවයි ඇත්තට මමත් නුඹගේ ඇයට වාගෙම දුක දැනේ
උහුලගෙන ඒ සියලු ගින්දර නුඹෙ සතුටමයි අයැදියේ

අමතකයි නුඹෙ ප්‍රියාවිට දැන් මා පියන් සෙනෙහේ අගේ
මහලු මඬමට මා දමන්නට ඇයයි ඔය සිත සැනසුවේ

දනිමි හැම දේ ඇති ලෙසින් මන්
                          නමුත් ඉවසමි දුක හදේ
තුටින් රැදියන් මුණුපුරන් ලැබ
                         ඇයත් සමගින් මන්දිරේ
මියෙන්නට පෙර එක දිනක් මට
                          දකින්නට රන් කඳ මගේ
කච්චියක් රෙදි අවැසි නෑ මට ඇවිත්                                            
                                  පලයන් මගෙ පුතේ

වාශු

දැදිගම සූතිගර වෙහෙර

පැරැණි බෙදීම් වලට අනුව බෙලිගල් කෝරළයේ ඉර වැලි  පත්තුවට ද , වර්තමාන බෙදීමට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්...